Tuesday, January 12, 2010

මැතිවරණ වියදම් අඩු කිරීමට පහසුම මඟ

තවත් ඡන්දයක් අත ළඟය. ඡන්දය පැවැත්වෙන්නේ පිස්සු හුටංගේ උපන් දිනය දා බැවින් ඔහු සිටින්නේ මාර සතුටකිනි. ඒ අන් කිසිවක් නිසා නොව ඡන්ද උණුසුම හේතුවෙන් කාර්යාල සගයින්ට පිස්සු හුටංගේ උපන් දිනය අමතක වීමට ඉඩ ඇති බැවිනි. එසේ වුවහොත් උන්ට කේක් අරන් දීමට සිදු නොවේ (හැබැයි පිස්සු හුටනුත් ඇතුළුව මේකෙ ඉන්න උන්ට මොන දේ අමතක වුනත් එව්ව නම් අමතක වෙන්නෙ නෑ).

ඡන්දය නිසා පිස්සු හුටංට එවැනි සුළු වාසියක් අත් වීමට ඉතාමත්ම කුඩා සම්භාවිතාවක් අති නමුත් රටට බරපතල පාඩුවක් සිදු වන්නේ ඡන්දයක් පවත්වන්නට මහා ධන කන්දරාවක් වැය වන නිසාය. එසේ නාස්ති වන්නේ මැටිවරණ (නොහොත් මැට්ටන් තේරීම) කොමසාරිස් තුමාගේ හෝ ඡන්දය ඉල්ලන මැට්ටන්ගේ අම්මලාගේ අප්පලාගේ බූදල් නොව මහජන මුදල්ය. මහජනයා යනු මෙරට පුරවැසියෝය. පිස්සු හුටංද මෙරට පුරවැසියෙකි (ඔහුගේ උප්පැන්නයේ ඒ බව සඳහන් වේ). එනම් මෙසේ නාස්ති වන මුදලින් කොටසක් පිස්සු හුටංටද අයිතිය. එම නිසා පිස්සු හුටංටද ඒ ගැන කැක්කුමක් ඇත.

අපතේ යන මහජන මුදල් ගැන දුක් වෙමින් සිටි පිස්සු හුටංට මැටිවරණ වියදම 99% කින් පමණම අඩු කර ගත හැකි මාර්ගයක් පිළිබඳව කල්පනා වූයේ පසුගිය දින වල පුවත්පත් කීපයක පළවූ ප්‍රවීණ ජ්‍යොතිෂ ගඳයන් (ජ්‍යොතිෂඥයන්?) ගේ අනාවැකි කීපයක් දැකීමෙනි. ජනාධිපති අපේක්ෂකයින්ගේ කේන්දර ඇසුරින් ඔවුන් ලබන ජය පරාජයන් ඒවායේ අපූරුවට විස්තර කොට තිබුනි. අහා මාරයැ!!! ඡන්දයට කලින් එහි ප්‍රතිඵල දැන ගත හැකි නම් ඡන්දය පවත්වන්නේ අහවල් රෙද්දකටද?

මැටිවරණ දෙපාර්තමේන්තුව විසුරුවා හැර මැටිවරණ කොමසාරිස් තනතුරට මෙරට සිටින ඉසිවර නුවණති මහා ජ්‍යොතිෂ ගඳයන්ගෙන් කෙනෙකු පත් කොට (මැටිවරණ දෙපාර්තමේන්තුවට වසරේ බොහෝ කාල වල කිරීමට වැඩක් නැති නිසා අනෙක් පුරප්පාඩු පිරවීම අවශ්‍ය නැත. අවශ්‍ය වූ විට දවස් පඩියට කාව හෝ හොයා ගත හැක) නාම යෝජනා බාර දෙන විට කේන්දර කොපිය අනිවාර්ය කළා නම් වැඩේ ඉවරය. මැටිවරණ කොමසාරිස් අපේක්ෂකයින්ගේ කේන්දර බලා ජයග්‍රාහකයින් තීරණය කරනු ඇත. කොහොමද වැඩේලේසියි! පහසුයි!! සල්ලිත් ඉතිරියි!!!

මතුපිටින් සරලව පෙනුණද ඉහත අදහස ක්‍රියාත්මක කිරීමේදී මැටිවරණ කොමසාරිස් ධුරයට පත් කරන්නේ කාවද යන්න ඕනෑම ගොනෙකුට ඇති විය හැකි ප්‍රශ්නයකි (ගොනුන්ටද එවැනි ප්‍රශ්න ඇති විය හැක්කේ මෙරට සිටින ගොනුන් යුද්ධ කිරීමට වුවද යැවිය හැකි තරම් බුද්ධිමත් නිසාය). පිස්සු හුටංට නම් සිතෙන්නේ මෙම ජනාධිපතිවරණය පිළිබඳව අනාවැකි පළ කළ කිහිප දෙනා අතරින් මැටිවරණ කොමසාරිස් වරයකු තෝරා ගත හැකි බවය. නමුත් මැටිවරණ කොමසාරිස් වරයා අදේශපාලනික පුද්ගලයකු විය යුතු නිසා මුලින්ම ඔවුන්ගේ දේශපාලන නැඹුරුවඑනම් ඔවුන්ගේ අධෝ මුඛය නළියන්නේ කුමන පක්ෂයේ නායකයාගේ නම ඇසෙන විටද යන්න පරීක්ෂා කර නොනැඹුරු පුද්ගලයන් තෝරා ගත යුතුය. ඉන් පසු එසේ තෝරා ගත් අය අතුරින් ආසන්නම ප්‍රතිඵලය පුරෝකථනය කළ පුද්ගලයාට මැටිවරණ කොමසාරිස් පදවිය පිරිනැමිය හැක. එතොකොට ඊලඟ ඡන්දෙන්ම වැඩේ පටන් ගත හැකි. මරු නේද?

සන්ධාන පිහිටුවා ගැනීමනාම යෝජනා බාර දීම පමණක් නොව වැසිකිළි යාම සඳහාද නක්ෂත්‍රයේ පිහිට පතන දේශපාලුවන් මෙන්ම උපතේ සිට මරණය දක්වා සෑම අටමගලක්ම ග්‍රහ බලපෑම නිසා සිදුවන බව විශ්වාස කරන ජනතාවක් සිටින මෙවැනි රටකට ඉහත විසඳුම 100%ක්ම ගැළපෙන බව පිස්සු හුටංගේ අදහසයි.

No comments:

Post a Comment

මේ හෑල්ල ගැන මොනවද හිතෙන්නෙ?