Wednesday, January 20, 2010

සූර්යග්‍රහණය සහ ප්‍රතිබිම්බ

15 වන දා සූර්යග්‍රහණයක් සිදු වන බව පිස්සු හුටංට මතක් වූයේ එය ආරම්භ වීමට විනාඩි කීපයකට කලිනි. එ වේලේ පටන් ඔහු බලවත් නොඉවසිල්ලෙන් පසු වූයේ අවසන් වරට සූරග්‍රහණයක් දැක ගැනීමට ලැබුණේ මීට වසර 11කට පමණ පෙර නිසාය. එදින පාසල නිමවී එන අතරතුර බසයේ ඉදිරි දොරටුව තුළින් දර්ශනය වූ අර්ධ සූර්යග්‍රහණයක අවසාන භාගය පිස්සු හුටං නරඹුවේ පියවි ඇසිනි (පිස්සු හුටං කියන්නෙ නිකන්යැ). එයද ඉතා ස්වල්ප වේලාවකි. පසුව එදින නින්දට යන තෙක්ම මාරුවෙන් මාරුවට ඇස් වසමින් පෙනීම පරීක්ෂා කළ අයුරු පිස්සු හුටංට තවමත් මතකය. දා හරි හැටි නැරඹිය නොහැකි වූ දසුන 15 වන දා එළකිරි සේ පෙනුණු නිසා පිස්සු හුටංට මාර හැපි ය. හොඳ වේලාවට පිස්සු හුටං පිස්සු කෙළින ආයතනයේ කැමරාවක් තිබුණු නිසා ඔහුට එය ඡායාරූපගත කිරීමටද හැකි විය. පහත දැක්වෙන්නේ පිස්සු හුටං විසින් ලබා ගැණුනු ඉතා ස්වල්පයක් (25ක් පමණ) වූ ඡායාරූප අතුරින් හොඳ තත්ත්වයේ තිබූ එකම එකය (හැකියාව උපරිමයි).





Tuesday, January 12, 2010

මැතිවරණ වියදම් අඩු කිරීමට පහසුම මඟ

තවත් ඡන්දයක් අත ළඟය. ඡන්දය පැවැත්වෙන්නේ පිස්සු හුටංගේ උපන් දිනය දා බැවින් ඔහු සිටින්නේ මාර සතුටකිනි. ඒ අන් කිසිවක් නිසා නොව ඡන්ද උණුසුම හේතුවෙන් කාර්යාල සගයින්ට පිස්සු හුටංගේ උපන් දිනය අමතක වීමට ඉඩ ඇති බැවිනි. එසේ වුවහොත් උන්ට කේක් අරන් දීමට සිදු නොවේ (හැබැයි පිස්සු හුටනුත් ඇතුළුව මේකෙ ඉන්න උන්ට මොන දේ අමතක වුනත් එව්ව නම් අමතක වෙන්නෙ නෑ).

ඡන්දය නිසා පිස්සු හුටංට එවැනි සුළු වාසියක් අත් වීමට ඉතාමත්ම කුඩා සම්භාවිතාවක් අති නමුත් රටට බරපතල පාඩුවක් සිදු වන්නේ ඡන්දයක් පවත්වන්නට මහා ධන කන්දරාවක් වැය වන නිසාය. එසේ නාස්ති වන්නේ මැටිවරණ (නොහොත් මැට්ටන් තේරීම) කොමසාරිස් තුමාගේ හෝ ඡන්දය ඉල්ලන මැට්ටන්ගේ අම්මලාගේ අප්පලාගේ බූදල් නොව මහජන මුදල්ය. මහජනයා යනු මෙරට පුරවැසියෝය. පිස්සු හුටංද මෙරට පුරවැසියෙකි (ඔහුගේ උප්පැන්නයේ ඒ බව සඳහන් වේ). එනම් මෙසේ නාස්ති වන මුදලින් කොටසක් පිස්සු හුටංටද අයිතිය. එම නිසා පිස්සු හුටංටද ඒ ගැන කැක්කුමක් ඇත.