Thursday, September 27, 2012

ගව ඝාතනය, ගව හිංසනය සහ ගව මනස

ගව මස් කෑම වනාහී මෙලොවදී කළ හැකි දරුණුම පාප කර්මය බවට පත් වී ඇත. මසුන්, කුකුළන්, එළුවන්, ඌරන්, තාරාවන්, හාවුන්, මුවන්, ගෝනුන්, මීමින්නන්, කලවැද්දන්, උගුඩුවන් ආදී මෙකී නොකී අනෙකුත් සියළුම සතුන්ගේ මස් බුදින ගව ඝාතන විරෝධීන් මහත් වූ සහෝදර ප්‍රේමයෙන් යුතුව පවසන්නේ තම මුළු ජීවිත කාලයම මිනිසාගේ සේවය වෙනුවෙන් කැප කරන ගවයා මරා කෑම පාපකාරී, අධම, තුච්ඡ, නිහීන, තිරිසන්, බලු, වල් ක්‍රියාවක් බවය. වෙනත් බ්ලොගයකින් සොරකම් කරන ලද ඉහත පින්තූරයට අනුව පිස්සු හුටංට හැඟෙන්නේ මිනිසා ගවයාගෙන් බලෙන් වැඩ ගන්නවා නොව ගවයා ස්ව කැමැත්තෙන් වැඩ කර දෙන බවයි (තොපිලටත් හිතෙන්නෙ එහෙමද?). ඇත්තෙන්ම ගවයා එසේ කරන්නේ ඇයි? ජීවිත කාලය පුරාම මිනිසාට සේවය කිරීමෙන් ඌ ලබන තෘප්තිය කුමක්ද?

පිස්සු හුටං වසර ගණනාවක් තිස්සේ ඒ පිළිබඳව පර්යේශණ කළ නමුත් කිසිදු නිගමනයකට එළඹීමට නොහැකි විය. නමුත් දිනක් පොල් ගසක් යටට වී බැදපු ගව මස් පෙත්තක් රස විඳිමින් නිහාල් නෙල්සන් මහතාගේ "කිරි දුන්නේ දරුවන්ටයි" ගීතයට සවන් දෙන විට පොල් ගෙඩියක් හිස මත වැටීම නිසා පිස්සු හුටංට ඥාණාලෝකය පහල විය. හරියටම අයිසෙක් නිව්ටන්ට ගුරුත්වාකර්ෂණය පිළිබඳ අදහස පහල වූ ලෙසටමය. ඉන් පසු පර්යේශණය වෙනත් මඟකට යොමු වූ අතර වැඩි කල් නොගොස්ම පැහැදිලි නිගමනයකට එලඹීමට පිස්සු හුටංට හැකි විය.

පිස්සු හුටං සොයා ගත් පරිදි මෙම තත්ත්වයට හේතුව බොහෝ ගවයන් තුළ ඇති මානසික විකෘතිතාවයකි. එනම් ස්වපීඩා කාමුකත්වය (Masochism) ලෙස හඳුන්වන තත්ත්වයයි. මින් පෙළෙන්නන් ශාරීරික හෝ මානසික වධ වේදනා විඳීම තුළින් විශාල තෘප්තියක් ලබති. මිනිසාට සේවය කිරීමේදී ලැබෙන වධ වේදනා වලට ලොබින් ගවයා සෑම විටම මිනිසාට සේවය කිරීමට සැදී පැහැදී සිටින බව පිස්සු හුටං කළ පර්යේශණ වලින් තහවුරු වී ඇත.

දවස පුරා බැඳ තැබීම, කෙවිට පහර දීම, කරත්ත සහ නගුල් වල බැඳීම, වලිගය නැවීම, හංවඩු ගැසීම, කර ඇඹීම ආදී මෙකී නොකී සියළු වධ වේදනා වලින් ලැබෙන තෘප්තිය නිදහසේ උලා කෑමෙන් තබා එළදෙනුන් සියයක් සමඟ කැලේ පැනීමෙන් වත් නොලැබෙන බව දන්නා ස්වපීඩා කාමුක ගවයෝ දිවි ඇති තුරා මිනිසා සමඟම රැඳී සිටිති. එසේ සතුටින් සිටින ගවයන් මරා දැමීම ජාතික අපරාධයකි. ගවයන් කොතෙක් කැමති වුවත් උන්ට වධ දීමද ගව ඝාතනය මෙන්ම වැරදි ක්‍රියාවකි. ශිෂ්ට සමාජයක ජීවත් වන අපට එය කිසිසේත්ම අනුමත කළ නොහැක. එම නිසා මිනිසාට සේවය කිරීමට කැප වී සිටින ගවයා මරා දැමීමට විරුද්ධව හඬ නගන ගව ඝාතන විරෝධීන් කළ යුත්තේ විරෝධතා වලින් ඔබ්බට ගොස් ස්වපීඩා කාමුක ගවයින්ව මානසික ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ඇති කිරීමය. පුනරුත්ථාපනය වන බොහෝ ගවයන් අනිවාර්යයෙන්ම මිනිසා අතහැර කැළෑ වදිනු ඇති නිසා ගව හිංසනයද අඩු වනු ඇත. කැළෑ වැදුණු ගවයින් පහසුවෙන් අල්ලා ගත නොහැකි නිසා ගව ඝාතනයද අඩු වනු ඇත.

ඇමරිකාව ඉරාකයට පහර දෙන විට ලිප්ටන් වට රවුමේ උද්ඝෝශණය කරන්නාක් මෙන් බොළඳ වැඩ නොකර වඩා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ගව ඝාතන විරෝධීන් උනන්දු විය යුතු බව පිස්සු හුටංගේ අදහසයි.

2 comments:

මේ හෑල්ල ගැන මොනවද හිතෙන්නෙ?