Monday, September 17, 2012

මුන්නේශ්වරම් බිලි පූජාව නැවැත්වූයේ කවුද?

හලාවත මුන්නේශ්වරම් කෝවිලේ සත්ත්ව බිලි පූජාව පසුගිය දින වල මහත් ආන්දෝලනයට තුඩු දුන් කාරණාවකි. බලවත් වාද විවාද වලින් පසු කෝවිලේ ප්‍රධාන පූජකවරයා නිවේදනය කළේ මෙම බිලි පූජාව තාවකාලිකව අත්හිටුවීමට තමා තීරණය කළ බවයි. මාධ්‍ය විසින් මීට හේතුව ලෙස දක්වා තිබුණේ කපිලවස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ මෙම බිලි පූජාව නොපවත්වන ලෙස ජනාධිපති වරයා විසින් කරන ලද ඉල්ලීමයි. නමුත් පිස්සු හුටං විසින් සිදු කළ සොයා බැලීම් වලින් අනාවරණය වූයේ වෙනත් කතාවකි.

ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ග වලට අනුව පසුගිය පළාත් සභා මැතිවරණ අවසන් වන තෙක් වත් බිලි පූජාව නවත්වනැයි මැතිවරණ කොමසාරිස් වරයා විසින් කරන ලද “අති විශේෂ” ඉල්ලීමක් මෙයට හේතු වී ඇත. පසුගිය දිනක කෝවිලේ ප්‍රධාන පූජකවරයා බැහැ දැකීමට ගිය මැතිවරණ කොමසාරිස් වරයා බිලි පූජාව සඳහා එළුවන් යොදා ගැනීමෙන් මැතිවරණ සමයේ තමන්ට මුහුණ පැඑමට සිදු වන ගැටළු පිලිබඳව සාකච්ඡා කර ඇත. විශේෂයෙන්ම පෝස්ටර්, බැනර්, කටවුට් ආදිය ඉවත් කිරීමට යාමේදී පොලිසියටවත් තම රාජකාරිය හරි හැටි ඉටු කළ නොහැකි තත්වයක් උදාවී ඇති බව පවසා ඇති ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ඒවා ඉවත් නොකළහොත් ජනතාවගෙන් බැණුම් ඇසීමට සිදු වන්නේ තමාටත් තම මෑණියන්ටත් බවයි. එම නිසා තමා ගැන බැරි නම් තම මෑණියන් ගැන හෝ අනුකම්පා කර එළුවන් බිලි දීම කල් දමන ලෙස ඔහු පූජකවරයාගෙන් ඉල්ලා ඇති අතර ඒට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ එළුවන් පෝස්ටර් ආහාරයට ගැනීම නිසා තාප්ප වල ඇති පෝස්ටර් ප්‍රමාණය අඩු වන බවත් මිනිසුන්ට මෙන් නොව පෝස්ටර් ඉවත් කිරීමේදී එළුවන්ට ගුටි කෑමට සිදු නොවන බවත්ය. එළුවන් බිලි දුනහොත් පෝස්ටර් ආහාරයට ගැනීමට කිසිවෙක් නැති නිසා ඒවා ආහාරයට ගැනීමට සිදු වන්නේ තමන්ට බවද ඔහු වැඩි දුරටත් පවසා ඇත. ඊට පිළිතුරු දෙමින් ප්‍රධාන පූජකවරයා පවසා ඇත්තේ මැතිවරණ අපේක්ශකයන් කීප දෙනෙකුත් දිනුවාට පසු පාටි දැමීමට කුකුළු මස් හිඟ විය හැකි නිසා කුකුළන් බිලි නොදෙන ලෙස තමන්ගෙන් ඉල්ලූ බවයි. මැතිවරණ කොමසාරිස් වරයාගේ මෙණ්ඩක ප්‍රශ්නයද ඉතා බරපතළ එකක් සේ පෙනෙන නිසා එළුවන්ද අත් හැරිය විට තමන්ට බිලි දීමට ඉතිරි වන්නේ කැළණියේ බූරුවන් පමණක් බවත් දෙවියන් පඬුරු ලෙස බූරුවන් බාර නොගන්නා නිසා බිලි පූජාව නැවැතීම හැර තමාට වෙනත් විකල්පයක් නොමැති බවත් පවසා ඇති පූජකවරයා මැතිවරණය අවසන් වන තෙක් බිලි පූජාව කල් දැමීමට එකඟ වී ඇත.

නියම විරුවන් පසෙක සිටියදී වෙනත් අය “පොරවල්” බවට පත් කිරීමේ නිර්ලජ්ජී උත්සාහයක යෙදෙන ජනමාධ්‍ය හෙළා දැකිය යුතු බව පිස්සු හුටංගේ අදහසයි.

No comments:

Post a Comment

මේ හෑල්ල ගැන මොනවද හිතෙන්නෙ?