Friday, October 5, 2012

මසුන් යනු සතුන් නොවේ!! - පිස්සු හුටං "ගෙදර යන ගමන්" කළ සොයා ගැනීමක්

ඊයේ සවස් වරුවේ පිස්සු හුටං වැඩ අහවර වී "ගෙදර යන ගමන්" සුපිරි වෙළඳසලකට ගොඩ වැදුණේ කෑවාට පවු නැති මස් හෙවත් කුකුළු මස් ටිකක් මිලදී ගැනීමටයි. අධිශීතකරණය අසලට ගිය පිස්සු හුටංට දැක ගැනීමට ලැබුණේ එහි මස් අසුරා ඇති කොටස හිස් බවයි. නමුත් මාළු සහ සැකසූ මස් වර්ග නම් කිසිම අඩුවක් නොමැතිව එහි අසුරා තිබුණි. මස් පමණක් නොමැති වීමට හේතුව තේරුම් ගැනීමට පිස්සු හුටංට නොහැකි වූයේ පොහෝ දින වල එම වෙළඳසලෙහි මුළු අධිශීතකරණයම හිස් කරන නිසාය.

ඒ පිලිබඳව විමසූ පිස්සු හුටං සහ එහි වෙළඳ සේවිකාවක අතර සිදු වූ දෙබසයි මේ.

පිස්සු හුටං: "අද මස් නැද්ද?"
වෙළඳ සේවිකාව: "නෑ. අද මස් අයින් කරන්න කියල කියල එවල තිබ්බ."
පිස්සු හුටං: "ඒ මොකද? අද විශේෂ මොකක් හරි තියෙනවද?"
වෙළඳ සේවිකාව: "ඔව් අද සත්ත්ව මොකක්ද එකක් කියල කිව්ව."
පිස්සු හුටං: "එහෙමත් එකක්ද? එතකොට මාළු සත්තු නෙමෙයිද දන්නෙ නෑ නේද?"
වෙළඳ සේවිකාව: (සිනා මුසු මුහුණින්) "ඒක තමයි..."

ඊළඟට කටට ආ "මස් විකුණන්නෙ නැත්නම් සොසේජස් විකුණන්නෙ ඇයි? එව්ව හදන්නෙ මස් වලින් නෙමෙයිද?" යන්න පිස්සු හුටං අමාරුවෙන් ගිල ගත්තේ තවත් ප්‍රශ්න අසා තේරුමක් නැති නිසාය.

බිල ගෙවා පිටතට පැමිණි පිස්සු හුටංට සිතුණේ "සත්ත්ව මොකක්ද එක" යනු සත්ත්ව අවිහිංසා දිනය වන්නට ඇතැයි කියාය. නමුත් ඔහුට තේරුම් ගත නොහැකි වූ කාරණය වූයේ මස් පමණක් ඉවත් කළේ ඇයිද යන්නයි. කෝකටත් කියා අතරමඟ තිබූ එම වෙළඳසල් ජාලයටම අයත් වෙනත් ශාඛාවකටද ගොඩවූ පිස්සු හුටං කෙලින්ම ගියේ අධිශීතකරණය වෙතටය. පිස්සු හුටං සිතුවා හරිය. එහිද මස් පමණක් ඉවත් කර ඇත. පිස්සු හුටං ඒ පිළිබඳව එහි වෙළඳ සේවකයකුගෙන් විමසූවේ මෙසේය.

පිස්සු හුටං: "මස් නැද්ද?"
වෙළඳ සේවකයා: "අද මස් දෙන්නෙ නෑ."
පිස්සු හුටං: "අද මොකක් හරි විශේෂ දවසක්ද? නැත්තං..."
වෙළඳ සේවකයා: "අද සත්ත්ව දිනේනෙ."
පිස්සු හුටං: "එහෙමත් එකක්ද?"

ඉන් පසු නිවසට යනතුරුම පිස්සු හුටං කල්පනා කළේ "පිස්සු මටද නැත්තං උන්ටද" කියාය.

ඇත්තෙන්ම මස් පමණක් ඉවත් කළේ ඇයි? පිස්සු හුටංගේ අ(ති වි )ශිෂ්ඨ බුද්ධිය භාවිතා කර ඔහු එළඹුණු නිගමන මෙසේය.

සොසේජස් වැනි ආහාර, ඒවාට භාවිතා කළ මස් ලබා ගත් සත්ත්වයාගේ සාමාන්‍ය ආයු කාලයටත් වඩා වැඩි කාලයක් අධිශීතකරණයේ තිබීමේ සම්භාවිතාව 1 ට ආසන්නය. මස් සඳහා නොමැරුවද ඊයේ වන විට එම සතුන් ජීවත්ව සිටීමට ඇත්තේ ඉතාම සුළු ඉඩකි. එනම් සැකසූ මස්, මිය ගිය සතුන්ගේ මස් වලින් සැකසූ ඒවා ලෙස සැලකිය හැක. එම නිසා සත්ත්ව අවිහිංසා දිනයේදී ඒවා අලෙවි කළ හැක.

නමුත් මාළු සහ මස් එතරම් කාලයක් අධිශීතකරණයේ වුවද තබා ගත නොහැක. එම නිසා ඉහත තර්කය ඒවා සඳහා වලංගු නොවේ.

සත්ත්ව අවිහිංසා දිනය නිසා මස් පමණක් විකිණීම නවත්වන්නේ එදින සතුන් මැරීම වැළැක්වීමට බවත් මාළු බොහෝ විට පරණ ඒවා නිසා අලෙවි කිරීමේ ගැටළුවක් නොමැති බවත් කෙනකුට තර්ක කළ හැකිය.

සුපිරි වෙළඳසල් වල විකිණීමට තිබෙන ලොකු මාළු බහුදින යාත්‍රා වලින් අල්ලන වර්ගයේ ඒවාය. එම මාළු කාලයක් අයිස් දමා ගබඩා කර තිබේ. නමුත් පොඩි මාළු බොහෝ විට වෙළඳපොළට නිකුත් කෙරෙන්නේ අළුත් මාළු ලෙසය. ඒවා එදිනම ඇල්ලූ ඒවාද විය හැක. අනෙක් අතට මස්ද එදින මරන ලද සතුන්ගේ ඒවාම යැයි කිව නොහැක්කේ රාත්‍රි කාලයේ අධිශීතකරණයට මස් පුරවනු පිස්සු හුටං අනන්තවත් දැක ඇති නිසාය. මේ අනුව මස් පමණක් විකිණීමෙන් වැළකීමට පැහැදිළි හේතුවක් නොපෙනේ.

මේ අනුව පිස්සු හුටංට හැඟෙන්නේ සත්ව අවිහිංසා දිනයේදී අදාළ සුපිරි වෙළඳසල මස් විකිණීම පමණක් අත්හිටුවන්නේ මසුන් යනු සත්ත්ව කොට්ඨාශයක් නොවන නිසා බවයි.

තොපිලට මොනවද හිතෙන්නෙ?

6 comments:

  1. හොද කියමනක් ඔය කියල තියෙන්නෙ .එත් ලොකෙ යන විදිහට යන්න වෙනව

    ReplyDelete
  2. අනේ මන්ද බන්. ලෝකය පිස්සන් කොටුවක්ම තමයි.

    ReplyDelete
  3. Digatama liyanna

    ReplyDelete
    Replies
    1. කාලය තමයි ප්‍රශ්නෙ... :-(

      Delete
  4. ෆලෝවර්ස් ලිස්ට් එකක් නැද්දෝ??? අපි ආය එන්ට එපාදෝ???

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මෝ...
      ආයෙ එන්ටෝ...

      Delete

මේ හෑල්ල ගැන මොනවද හිතෙන්නෙ?